Thursday, January 23, 2014

යුවතියන් වන අපි පිරිමින්ට වඩා ආරක්ෂා විය යුතු නොවේ ද?

ගැහැණියකගේ රූමත්කම මනිනු ලබන්නේ ශාරිරිකව ඒ යුවතිය සුන්දර වූ පමණින් නොවේ. මා මෙලෙස ලියන්නේ මම කැත නිසා නොවේ. දුටු දුටුවන් ආකර්ශණය කරගන්නා ඉතා අයස්කාන්ත රූප සම්පත්තියක් රූමත්කමක් මාහට උප්පත්තියෙන්ම ඇත. නමුත් ඊටත් වැඩියෙන් හොඳ හදවතක් හා ගැඹුරු බුද්ධියක් ( ප්‍රඥාවක්) මාහට ඇත. රුව ගුණ දෙකම යුවතියකට එක හා සමානව පිහිටන්නේ ඉතාම කළාතුරකිනි. නමුත් මට ඉතා ම කලාතුරකින් යුවතියකට ලැබෙන මාහැඟි භාග්‍ය ලැබී තිබේ. එය මා භාවිතා කරන්නේ සමාජයට සේවයක් සිදු කිරීම සඳහා මිස මා හෝ වෙනත් අයෙකු අපහසුතාවයට පත් කිරීම සඳහා නම් නොවේ. නමුත් මේ ටිකත් කිව යුතුය. ළඳ බොළඳ සුකුමාල යුවතියන් තමන්ගේ වැරදි ආශාවන් සතප්පවා ගැනීමට භාවිතා කරන කාමුක සල්ලාල නරුමයින් දැන් දැන් ශ්‍රී ලංකාවේ බහුල වී තිබේ. එවැනි තත්වයකදී හැකිතාක් වෙර යොදා උන්ගෙන් බේරී සිටීමට කටයුතු කරනවා මිසක අනේ අපි අහිංසකයි කිය කියා සිට උන්ට හසුව පසුව පසුතැවිලිවීමට මට නම් අවංකව ම උවමනාවක් නැත. සමහර විට මම තරමක් තදට සිට කටයුතු කරන්නේ එහෙයිනි. මගේ මේ ස්වරූපය මා ළඟින්ඇසුරු කරන කොයි කවුරුත් පාහේ හොඳින් දන්නා නමුත් අන්තර්ජාලයේ සිටින ඇතැම් කෛරාටික, නූල් සූත්තරකරුවන් කාරියන් නම් දන්නේ නැත.


ඔවුන් මගේ සෘජු තද ගතිය මගේ වරදක් ලෙස හුවා දක්වා වෙනත් අය මා කෙරෙහි ආකර්ශණයවීම වළකා දැමීමට ඇතැම් විට ක්‍රියාකරන බව අන්තර්ජාලය භාවිතා කරනු ලබන මගේ විශ්වවිද්‍යාල යෙහෙළියෝ වරින් වර මා දැනුවත් කරති. අපි ඉඳහිට හමු වූ අවස්ථාවලදී මගේ බ්ලොග් ලිපිවල අන්තර්ගතය, එම අන්තර්ගතයට පදනම් වූ සත්‍ය කරුණු කාරණා ආදිය විස්තරාත්මකව අපි සාකච්ඡා කරන්නෙමු. එවැනි අවස්ථාවලදී ඔවුන් මාහට පැවසූ යම් යම් විවේචනාත්මක කරුණු කාරණාවලදී මා විසින් සපයන ලද ශාක්ෂි පදනම් කරගෙන මෙවැනි පැහැදිලි කිරීමක් අන්තර්ජාල බ්ලොග් අඩවිය මඟින් සිදු කරන ලෙස ලැබුණු වැදගත් උපදෙස් මත මම මෙවැනි සටහනක් ගොනු කලෙමි. කිසිසේත්ම පුද්ගල චරිතවලට මඩ ගැසීමට මා හට වුවමනාවක් නැත. මා ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අනුව මට සිහිනෙන්වත් එබඳු දෙයක් කිරීම තබා සිතින් වත් සිතා ගත නොහැකිය. නමුත් සමාජයේ සියලු පුද්ගලයන් සමාන නැත. අවාසනාවට අපි බොහෝ විට සිතන්නේ අනුන්ද අපි හා සමාන යැයි කියාය. නමුත් එවැනි සිතිවිලි අප තුළ පවතින්නේ අනුන්ගේ විශාල බොරුවකට අප හසුවන තෙක් පමණකි. ඉන් පසුව දකින දකින සෑම මනුෂ්‍යයාම සැක කිරීමට පෙළඹේ. ගිණි පෙළෙල්ලෙන් බැට කෑ මිනිහා කණා මැදිරියාටත් බය යැයි කියමනක් ව්‍යවහාරයේ පවතියි. එය සත්‍යයකි. විශේෂයෙන්ම අපි යුවතියන් වෙමු. එවැනි අවස්ථාවකදී අපට හානි කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව පිරිමියෙකුට සාපේක්ෂකව වැඩිය. ඒ නිසාම අපි වඩාත් හොඳින්ම ආරක්ෂා විය යුත්තෝ වෙමු.

2 comments:

  1. සත්තකින්ම අක්කේ. යුවතියන් වන අපි පිරිමින්ට වඩා පිරිමින්ගෙන් ආරක්ෂා විය යුතු වෙනවා. මොකද අද කාලේ සමහර පිරිමි හැසිරෙන හැටි දැක්කම එයාලට අම්මලා අක්කලා නංගිලා දියණිවරුන් නැහැ කියලා හිතෙනවා. මොකද එයාලා අනික් සේරම යුවතියන්ව එයාලාගේ බිරිඳ කියලා හිතා ගෙන ඉන්නවා තමයි හැසිරෙන්නේ.

    මට මේ අත්දැකීම මගේ යෙහෙළියන් බොහෝ වාරයක් ප්‍රකාශ කර තියෙනවා. මොකද මෙහෙම පිරිරිමි හැසිරෙන්නේ කියලා. ඇත්තට ම හොඳ යහපත් පිරිමිත් ඉන්නවා. නමුත් සුලුතරයක් කරන වැරදි නිසා බහුතර පිරිමි අපහසුතාවයට පත් වෙනවා ඇති. ඒක නිසා සමාජයේ හැමෝම මනුෂ්‍යයන් විදිහට කටයුතු කරන්න හැමෝම සිතට ගත්තොත් මම හිත්නේ අපිට ගොඩාක් මේ තත්වය අඩු කරවා ගන්න පුලුවන් වේවි

    ReplyDelete
  2. මටත් මේ කතාව සම්බන්ධයෙන් නම් කියන්න වෙනම කතා වගයක් තිබෙනවා. මම දන්නේ නැහැ කොයි තරම් දුරට ඒවා මේ බ්ලොග් පොස්ට් එක අදාලයිද කියලා නම්. නමුත් මම හිතන විදිහට සමාජයේ දී අපිට මුණ ගැහෙන චරිතවල යහපත් හෝ අයහපත් ලක්ෂණ හුදෙක් ස්ත්‍රී පුරුෂ භාවයට ම පමණක් පටවා ලඝු කරන්න අපහසුයි කියලායි. මොකද මේ දෙපක්ෂය අතරේම හොඳ හා නරක යන අය දෙකොටසම ඉන්න නිසා. එහෙම එක කොටසක් නරක අය හිටියා කියලා සමස්ත පිරිමින්ම හෝ සමස්ත ගැහැණුන්ම නරකයි කියලා වැරදි නිර්වචන දෙන්න නරකයි කියන මතයේ දැනට මම ඉන්නවා.

    බොහෝ වෙලාවට බොහෝ ගැහැණුන් හෝ පිරිමින් අතින් සිදු වන වරදක් තමයි හුදෙක් ගැහැණියක් වූ නිසාම නැතිනම් හුදෙක් පිරිමියෙක් වූ නිසාම යමෙකු දිහා වැරදි ආකල්පයකින් නොබැලිය යුතු බව. ගැහැණු පිරිමි ලිංගික අනන්‍යතාවය ශාරීරික වශයෙන් ජීව විද්‍යාත්මක හැඩය මත රඳ පවතින දෙයක්. ඒක ආකල්පවලට ගාවා ගන්න එකට මම සම්පූර්ණයෙන් ම එගඟ නැහැ. එයින් වන්නේ යම් යම් පුද්ගලයින් දිහා පූර්ව නිගමනවලට එළඹ ඒ අනුව බැලීමට මිනිසුන් යොමු වීමයි. මේ තුළ යම් පුද්ගල කොට්ඨාශයක් යටපත් කර දෑමීම හා යම් සමාජ කොට්ඨාශයක් ඉහළට ඔසවා තැබීමක් ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete